මෙය බොහෝ අදේවවාදීන් නගන ප්රශ්නයකි. නමුත් මෙය වැරදි ප්රශ්නයකි. ආරම්භයක් හෝ අවසානයක් කතා කළ හැක්කේ කාලය මත යැපෙන දෙයකට. හින්දු ධර්මය තුළ පවසන ආකාරයට අපගේ විශ්වයේ කාලයට ආරම්භයක් තිබුණි. කාලය ආරම්භ වීමට පෙර සිටි දේව මෑණියන්ගේ පැවැත්ම සදාකාලික අමරණීය පැවැත්මක් වන්නේ එතුමිය කාලයට ස්වායක්ත නොවී කාලයේ කතෘවරයා වන නිසාය. එතුමිය කාල චක්‍රයේ පාලිකාව වන හෙයින් එතුමිය කාලි නමින් හඳුන්වනු ලබයි.
"මගේ මායා ශක්තිය මෙම මුළු විශ්වයම නිර්මාණය කරයි, චලනය වන සහ චලනය නොවන වස්තූන් සමඟ මේ මායාව මා තුළ ගැබ්ව ඇත. ඇත්ත වශයෙන්ම එය මගෙන් වෙනස් හෝ වෙන් නොවේ."
දේවී ගීතා 05:01
"දැකිය හැකි සමස්ථ නිර්මාණය සහ විනාශය මා වෙමි. ඕ පර්වත රජුනි! මායාව සහ විවිධ ක්‍රියාවන් සමඟ එක් වී මා ප්‍රාණ වායුව ලෙස සියල්ල තුළ පවතිමි."
දේවී ගීතා 05:03
"මා සූර්යයා සහ චන්ද්‍රයා වෙමි, මා සිවුපාවන්, පක්ෂීන්ගේ සහ චණ්ඩාලයන්ගේ සත්‍ය ස්වභාවය වන්නෙමි."
දේවී ගීතා 05:14
"කැඩපතක ඡායාව සේ විශ්වය හටගන්නා යම් ස්ථානයක් වේද, එය සමෘද්ධිමත් වන්නා ස්ථානයක් වේද, එය නිරාකරණය වන්නා ස්ථානයක් වේද, එම වියුක්ත බුද්ධිය මා වෙමි."
විද්‍යා ගීතා 31
"ඕ බ්රහ්මා! බලන්න මේ සංසාරයේ මාගෙන් විසංයුක්ත වූ ද්‍රව්‍යය කුමක්ද? මා හට සම්බන්ධ නොවන යමක් ඔබට සිතා ගත හැකිද? එබැවින් සමස්ථ තත්ත්වයන්ගෙන් සිටින්නේ මා බව වටහා ගන්න. ඕ නිර්මාතෘ! මා නොපවතින කිසියම් හෝ ඔබට දැකිය හැකිද? එබැවින් මෙම නිර්මාණයේදි මා ඒකීය වෙමි, මම විවිධ ස්වරූපයන්ගෙන් බහු වෙමි. සෑම දේවතාවෙකු තුළම ශක්ති ස්වරූපයෙන් සිටින්නේ මා බව නිශ්චිතවම වටහා ගනු. ශක්තිය ලෙසින් විද්‍යාමාන වන්නාද එය විදහාන්නා ද මා වෙමි. ඕ බ්රහ්මා! මා ගෞරී, බ්රාහ්මී, රෞද්‍රී, වාරාහී, වෛශ්ණවී, ශිවා, වාරුණි, කෞබෙරි, නාරසිම්හී සහ වාසවී ශක්ති (ඉන්ද්‍ර ශක්තිය) ලෙසින් විද්‍යාමාන වෙමි. බලපෑමේ ස්වභාවය අනුව සෑම ද්‍රව්‍යයකම මා අන්තර් වශයෙන් වාසය කරමි. පුරුෂයා මෙවලමක් කොට ගනිමින් මා සමස්ථ ක්‍රියාවන් සිදු කරමි. මා ජලයේ සිසිලස වෙමි, අග්නියේ තාපය වෙමි, සූර්යයාගේ ප්‍රභාව වෙමි, චන්ද්‍රයාගේ කාන්තිය වෙමි, මා මෙසේ ශක්තිය විද්‍යාමාන කරමි. ඕ බ්රහ්මා! සත්‍ය වශයෙන්ම මා ඔබට ප්‍රකාශ කර සිටින්නෙ මේ විශ්වය මා විසින් අතහැර දැමුවහොත් එය නිශ්චල වන බවයි. මා ශංකරයන් අත්හැර දැමුවොත් ඔහුට දෛත්යන් සංහාරය කිරීමට නොහැකි වනු ඇත. දුර්වල මනුෂ්‍යකුට ආමන්ත්‍රණය කරන්නේ ශක්ති හීනයකු ලෙසයි: ඔහු රුද්‍ර හීනයෙකු හෝ විෂ්ණු හීනයකු ලෙසින් කිසිවෙකුත් නොපවසයි. බිඳ වැටුණු, බියට පත් වූ පිරිස් ආමන්ත්‍රණය කරන්නේ ශක්ති හීනයන් ලෙස මිස රුද්‍ර හීනයන් ලෙස නොවේ. එබැවින් ඔබ සිදු කරන නිර්මාණයේ මූලය ශක්තිය බව දැන ගනු. ඔබ ශක්තිය හා එක් වුවහොත් පමණක් ඔබට විශ්වය නිර්මාණය කළ හැකි වන්නේය."
දේවී භාගවතම් 03:11:21
No comments:
Post a Comment