නිකුම්බිලා දේවිය

ලංකා පුරයේ කුළ දෙවඟන වන නිකුම්බිලා දේවිය 




නිකුම්බිලා දේවිය, නිකුම්බිකා, නිකුම්බුලා ආදි විවිධ නාමයන්ගෙන් ආමන්ත්‍රණය කරන්නා වූ ප්‍රත්‍යන්ගිරා මෑණියන්ගේම එක් රෞද්‍ර ස්වරූපයකි. ඇය පිළිබඳව සාධනා මන්ත්‍ර ආදි විස්තර අඩංගු වන්නේ තන්ත්‍ර තුළයි. නිකුම්බිලා දේවිය ආමන්ත්‍රණය කරන්නා වූ තවත් ප්‍රචලිත නාමයක් වන්නේ “ශතෘ විද්වංශිණි” යන නාමයයි. ඇය උදේසා සාධනා කරන සාධකයන්ගේ සතුරන් කෙතරම් බලවත් වූවත් මෑණියන්ගේ ශක්තිය ඉදිරියේ ඒ සියලු ශක්තීන් නිෂ්ක්‍රීයයි.

නිකුම්බිලා දේවිය පිළිබඳ තවත් විශේෂ වූ කාරණයක් වන්නේ එතුමිය රාවණ රජුගේ කුල දෙවඟන ලෙස පිළිගැනීමයි. එතුමියව පළමුව වන්දනා කරනු ලැබුවේ බ්‍රහ්ම දෙවියන් විසින් වන අතර වැඩි වශයෙන් වන්දනා කරේ මේඝානාද කුමරුන් විසින්. නිකුම්බිලා දේවිය ලංකා රාජධානිය තුළ පළමුව ප්‍රකට වූයේ කුම්බලා නම් ග්‍රාමයේ නුග වෘක්ෂයක් පාමුළයි. එම ස්ථානය සති දේවියගේ ග්‍රහණිය පතිත වූ ශක්ති පීතයක් ලෙසද ජනප්‍රවාදයක් තිබේ.

ජනප්‍රවාදයන්ට අනුකූලව නිකුම්බිලා දේවියගේ ආගමනය මෙසේ සිදු වුනා.

එක් කලෙක රාවණ රජු ශිව දෙවිඳුන්ගේ රුද්‍ර ස්වරූපය උදේසා දීර්ඝ තපසක් ආරම්භ කළ අතර තපස අවසානයේ ශිව දෙවිඳුන් පාර්වති මෑණියන් සමඟින් රාවණ ඉදිරියේ ප්‍රකට විය. එනමුදු පාර්වති මෑණියන් දුටු රාවණ රජු මාතෘ ප්‍රේමයෙන් නොව කාම තෘෂ්ණාවෙන් යුතුව ඇය දෙස බලා තම වරය ලෙසට පාර්වති මෑණියන්ව විමසුවේය. ශිව දෙවියන් තම බැතිමතා වෙනුවෙන් එම වරය ලබා දුන්නත් පාර්වති මෑණියන් එයට එතරම් රුචි නොවුවාය. නමුත් ශිව දෙවිදුන්ගේ ලිලාවන් පිළිබඳව දන්නා මෑණියන් පාගමනින්ම රාවණ සමඟ ලංකාපුරයට පිටත් උනු අතර ශිව දෙවිඳුන් සමාධියට කාවැදුනහ.
රාවණ රජු මෑණියන් සමඟ පාගමනින්ම ලංකා පුරයට පැමිණ කුම්බලා ග්‍රාමය පසු කරන විට ඔහුගේ පිටු පසින් විශාල රස්නයක් දැනෙන්නට පටන් ගැනුණි. ඔහු පසුපස හැරි බලන විට දුටුවේ මෑණියන් අථර්වන බද්‍රකාලි (ප්‍රත්‍යන්ගිරා) ස්වරූපයෙන් සිටින ආකාරයයි. ඇයගේ ප්‍රචණ්ඩ ස්වරූපය දැක බියෙන් තැති ගත් රාවණ දෙවඟනට නැවතත් ශිව ලෝකය වෙත යන ලෙස ආයාචනා කරේය. නමුත් මෑණියන් බිහිසුනු ලෙස සිනා සී රාවණට පිළිතුරු දුන්නාය.
“මා කෙසේද මාගේ ස්වාමියාගේ අණට පිටු පාන්නේ? ඔබමයි පැවසුවේ ඔබට මා අවශ්‍ය බව.”
බියෙන් වෙව්ලුන රාවණ රජු රුද්‍ර දෙවියන්ට කන්නලව් කරන්න පටන් ගත් පසු එතුමා ප්‍රකට වීය. රාවණයන් මෑණියන් කෙරෙහි තෘෂ්ණාවෙන් බැලීම පිළිබඳව සමාව යැදු අතර ශිව දෙවිඳුන් ඔහුට සමාව ලබා දී කාමයේ ආදීනව පිළිබඳව පැවසූහ. ඉන්පසු රාවණ රජු ප්‍රථ්‍යන්ගිරා දේවිය වෙත හැරි නිල්-කුම්භ-ඉලා (නිල්-ස්ථිර, කුම්භ-ස්ථාපනය, ඉලා-රැඳෙන්න) ලෙස පැවසු අවස්ථාවේ පටන් මෑණියන්ට නිල්කුම්භඉලා යනුවෙන් නාමයක් ලැබන අතර පසුව එතුමියව නිකුම්බිලා ලෙසින් ආමන්ත්‍රණය කරන්න පටන් ගත්හ. එතැන් පටන් රාවණ රජු සෑම මසකම අමාවක දින සහ අව තුදුස්වක(අමාවකට පෙර) දින නිකුම්බිලා දේවියට පුද පුජා පැවැත්වීම ආරම්භ කරනු ලැබුවේය.

මේඝනාද නිකුම්බිලා දේවියගෙන් විජයිග්‍රහණයේ වරය ලබා සිටි අතර ඔහු නොපෙනි යාමේ වරය ලබා ගැනීමට නිකුම්බිලා යාගය සිදු කරන අවස්ථාවේදී ලක්ෂමණ සහ හනුමාන් ඇතුළු පිරිස එම යාග විනාශ කර දමයි. එමෙන්ම බොහෝ දෙනා තවත් නොදන්නා කාරණයක් නම් ලක්ෂ්මණ කුමරුද ප්‍රත්‍යන්ගිරා දෙවඟනගේ උපාසකයක් බව.

අථර්වන රහස්‍ය තුළ එන නිකුම්බිලා ධ්‍යාන ස්තෝත්‍රය තුළ ඇයගේ ස්වරූපය මෙසේ විස්තර කර තිබෙනවා.

ඇයගේ ශරීරය නීල මාණික්‍යක් මෙන්ය. සිංහ මුහුණක් සහිත ඇයට නේත්‍රා තුනක් තිබෙන අතර ඇයගේ හිස කෙස් ප්‍රචණ්ඩ අග්ණියයි. ඇයගේ තෝඩු වන්නේ මළ සිරුරු දෙකකි. එතුමියගේ මුඛයෙන් සහ දිවෙන් රුධිරය වෑස්සෙනවා සේම ඇයගේ ගෙල නහරක ගැට ගසා තිබෙන හිස් කබල් මාලයක් මෙන්ම ශංඛ සහ සිප්පි කටු වලින් තැනු මාලයකින්ද අලංකාරව තිබෙනවා. ඇයගේ පියයුරු ආවරණය කර තිබෙන්නේ ඉබි කටු වලිනි, බද්‍ර පටිය නිමවා තිබෙන්නෙ ඉබි අස්ථි වලිනි. එතුමියට අත් සතරකි දකුණු පස උඩ අතේ පොරවක්ද යට අතේ රුධිරය වෑස්සෙන ත්‍රීශූලයක්ද, වම් අත් දෙකේ මහාංකුෂ අංකුශයක්ද, සමරපාශ්‍යධ නම් පාශයක් ද දරා ගෙන සිටී.  ඇය නිරතුරුවම කුම්බලා ග්‍රාමයේ නුග වෘක්ෂය පාමුළ වාසය කරන අතර එතුමිය ප්‍රථ්‍යන්ගිරා දේවියගේ උග්‍රම ස්වරූපයකි.

Share:

1 comment:

  1. ඕම් ශ්‍රී මාත්‍රේ නමඃ
    ඕම් ගම් ගණපතයේ නමඃ
    ඕම් දුම් දුර්ගාය නමඃ

    ReplyDelete

Powered by Blogger.

Top Menu

About

LightBlog